small gov

නෛතික මිනුම් විද්‍යාවට අදාළ වනුයේ මිනුම්වල නෛතික පාලනය පිළිබඳ ක්ෂේත්‍රයයි. මිනුම් උපකරණ භාවිතය පිළිබඳ නෛතික අවශ්‍යතාවන්ට අනුව එම උපකරණ හා මිනුම් පරීක්ෂා කිරීමෙන් පසුව රටේ පවතින මිනුම් නීතිවලට අනුකූල වන පරිදි මිනුම් හා මිනුම් උපකරණ සහතික කිරීමේ ක්‍රියාවලිය නෛතික මිනුම් විද්‍යාව වේ. ඒ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන 1995 අංක 35 දරන පනත මගින් සපයා තිබේ. ඒ අනුව සෞඛ්‍යය, මහජන සුරක්ෂිතතාව, පරිසරය, බලදායී බදුකරණය, පාරිභෝගික ආරක්ෂාව සහ සාධාරණ වෙළඳාම යන අංශ සඳහා නීති හා රෙගුලාසි සාදා ඒවා ක්‍රියාත්මක කරනු ලැබේ.

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන නෛතික මිනුම් විද්‍යා කටයුතු, පනත හා ඒ යටතේ සාදා ඇති රෙගුලාසිවල අර්ථ නිරූපණය කර ඇත. සියලු වාණිජ ගනුදෙනුවලදී යොදා ගනු ලබන මිනුම් හා කිරුම්, මිනුම් නීතිය මගින් පාලනය කරනු ලැබේ. නෛතික මිනුම් විද්‍යා කටයුතු නියාමනය සඳහා පනත මගින් දෙපාර්තමේන්තුව බල ගන්වා ඇති අතර දෙපාර්තමේන්තුව විසින් දැනටමත් ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් කාර්යාල 22 මගින් පහත දැක්වෙන ආකාරයෙන් රටේ නෛතික මිනුම් විද්‍යා ක්‍රියාකාරකම් පහත දක්වා ඇති පරිදි පාලනය කරනු ලැබේ.

කර්තව්‍ය

  • වෙළඳාමේදී භාවිතා කරනු ලබන පඩි, මිමි, කිරුම් හා මිනුම් උපකරණ මූලික සහ වාර්ෂික සත්‍යායනය
  • පනතේ දණ්ඩන කොටස ක්‍රියාවට නැංවීම මගින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම
  • නෛතික මිනුම් විද්‍යාව පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම
  • පූර්ව ඇසුරුම් භාණ්ඩ පරීක්ෂා කිරීම හා පාලනය කිරිම
  • සෞඛ්‍ය අංශය, පාරිසරික ආරක්ෂාව සහ මාර්ග ආරක්ෂාව ආශ්‍රිත මිනුම් උපකරණ සත්‍යායනය
  • වෙළඳපොළ වැටලීම් සිදුකිරිම මගින් මිනුම් වංචා සිදුකරන තැනැත්තන්ට එරෙහිව නඩු පැවැරීම